ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඇති වූ ගැටුම් වල ප්‍රතිඵල වර්තමානයේද අභියෝගාත්මකව බලපායි. සංහිඳියාව සහ දුක්ගැනවිලි වලට පිළියම් යෙදීම සඳහා වූ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන නමුත් බොහෝ වින්දිතයන් තමන් මුහුණ දුන් ගැඹුරු දුක්ඛිත අත්දැකීම් වලින් මිදීම සඳහා අවසන් නිමාවක් සොයා ගෙන නොමැත. මෙම සන්දර්භය තුළ, සත්‍යය සොයාගැනීම සහ පීඩාවට ලක්වුවන්ට සිදුවූ හානි හා අසාධාරණ පිළිගැනීම, සමාජ සුවය සහ මිනිස් අයිතිවාසිකම් නැවත උල්ලංඝනය නොවීම සඳහා අත්‍යවශ්‍ය වේ.

සියලුම ශ්‍රී ලාංකිකයින්ට ඇති සත්‍යය  දැනගැනීමේ අයිතිය යටතේ ගොඩනැගූ සත්‍යය  සෙවීමේ යාන්ත්‍රණයක් මඟින් ජාතික සමගිය, නීතියේ ආධිපත්‍යය සහ සංහිඳියාව ඇති කිරීමටත්, අසමගිය සහ ප්‍රචණ්ඩත්වය නැවත ඇති නොවීමට වග බලා ගැනීම සඳහා දායක වනු ඇත.

2023 ජනවාරි මස 16 වන දින කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් සත්‍යය සහ ප්‍රතිසන්ධානය සඳහා වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා නිසි පියවර ගැනීමට තීරණය කරන ලදී.

ඉන්පසු වර්ෂ 2023 මැයි මස 29 වන දින, අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවලියක් සලකා බැලූ කැබිනට් අමාත්‍ය මණ්ඩලය සත්‍යය හා ප්‍රතිසන්ධානය පිළිබද යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට හා ඒ සම්බන්ධයෙන් අදාළ මුලික වැඩ කටයුතු සිදුකිරීමට අන්තර්වාර ලේකම් කාර්යාලයක් පිහිටුවීමටද අනුමැතිය දෙන ලදි.

ඒ අනූව ශ්‍රී ලංකාව තුළ වසර 1983 සිට 2009 දක්වා ද, ඊට අදාලව පසු කාලීනවද, උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවූ ගැටුම් හා සම්බන්ධිත සිදුවූ පාඩු හා හානි හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් විමර්ෂනය කිරීම පිණිස ස්වාධින හා අපක්ෂපාති කොමිසමක් ස්ථාපිත කිරීමට තීරණය කල අතර සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන යෝජිත කොමිසම වශයෙන් එකී කොමිසම නම් කිරීමටද, ස්වාධීන කොමිසමක් වශයෙන් එය පිහිටුවීම සඳහා නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදි. සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව ස්වාධීන කොමිසමක් ලෙස පිහිටුවනු ඇත.

සත්‍යය හා ප්‍රතිසන්ධානය පිළිබඳ යාන්ත්‍රණය සාර්ථක වන්නේ එම ක්‍රියාවලිය තුළ සියලුම පුරවැසියන් එහි පාර්ශවකරුවන් වශයෙන් සහභාගි වීමෙන් හා ඔවුන්ගේ දුක් ගැනවිලි ආමන්ත්‍රණය කිරීමට දායක වීමත් මඟින් ය. ඒ සදහා වන මුලික කාර්යයන්හි කොටසක් ලෙස සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබද කොමිසම ස්ථාපිත කිරීම සඳහා වන නීති සම්පාදනයේදී සත්‍යය හා ප්‍රතිසන්ධානය පිලිබඳ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් අදාළ පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම මගින් යෝජනා හා නිර්දේශ සලකා බැලීම මේ වන විට සිදු කරමින් පවතී. මීට අමතරව, වෙනත් රට වල පිහිටුවා ඇති සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය සම්බන්ධ වූ කොමිෂන් සභා වලින් සිදු කර ඇති කර්තව්‍යයන් අධ්‍යනය කොට ඒ ආශ්‍රිත උගත් පාඩම් හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා සිදුකිරිමට වාර්තාවක් සකස් කිරිම සඳහා අන්තර්වාර ලේකම් කාර්යාලය මේ වන විට කටයුතු කරගෙන යනු ලැබේ.